ඔබ මේ ලොවට ආදරේනම් - මුලු ලොවම ඔබටත් ආදරෙයි || රත්න ශ්‍රී
රත්න ශ්‍රීයන් විසින් ගලපන අපූර්වත පද සංකල්පනාවක් ඔස්සේ දිගහැරෙන "මගෙ දුවේ ඔබ අවදියෙන්නම්" සුවිශාල ජීවන සංකල්පයක් උද්දීපනය කරන්නකි. ඒ වනාහි හේ තෙමේ කුමක් නම් වස්තු විෂය කරගෙන තැතැනුවත් එහි වන පද මාලාව මහා කතාන්දරයක් කියා පායි. සමස්තයක් ලෙස කෙනෙක් ඒ හරහා පියෙකු තම දියණියට සෙනෙහෙ සිතින් කරන ප්‍රකාශයක් හෙලි කරන බැව් දකිත් මුත් එය ඊට එහායින් යමක් ප්‍රකාශ කරනා පද පෙලකි.
පද එකිනෙක ගීතයට පිළිවෙලින් මුසු කරන්නට ඇතත් එහි උච්චතමය අවසානයේදී පෙන්නුම් කරයි. එය වනාහි යථාර්ථයමයි. තේරුම් ගත යුතුම වූ සංකල්පයයි.
" ගණ කලුවරට අප පෙම් කළොත්
ඉර හද තරු වලට ණයගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි "
රත්න ශ්‍රී මෙයින් මහා කතාන්දරයක් පුංචි පද කිහිපයකට කැටි කරයි. එය නම් මෙසේය,...
ලෝකයේ වන සියල්ලම ලෝකයටම අවශ්‍ය ය. ඉවතලිය යුතු දෙයක් නොමැති තරම්ය. ඒවා ලෝකය විසින්ම තමා වෙනුවෙන් නිර්මාණය කරගත්තා වූ දේවල් ය. ඒ යම් දෙයක් නොමැතිව යන්නේද ලෝකයේ පැවැත්මටද එය බලපෑම් කරන්නේ ය. එතරම්ම අන්‍යෝන්‍ය සබැදියාවක් ඒ සියල්ල අතර පවතින්නේ ය. එය කෙසේද බැව් මෙසේ සදහන් කරන්නට ඇහැකි.
ඉන්ද්රජාලයක් වන්නේය. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අතිශයින්ම විශ්මිතය. ඒ අන් කවරක් නොව ඉන්ද්‍රයන්ගේ විශ්වය නිර්මාණයේ කතා වස්තුවයි. කතාවට අනුව මහා බල සම්පන්න ඉන්ද්‍රයෝ ජාලයක් මැවූහ. ව්යවහාරයේනම් එය මහා දැලකි. එහි අගක් මුලක් සොයාගන්නටනම් නොහැකිය. එය කෙතරම්ද යත් විශාලත්වයෙන් අනන්තයකි. අන් සියලු දැල් වලහි මෙන්ම මෙහිත් නූල් සම්බන්ධ වූ තැන් ඇත. නූල් සතරක සම්බන්ධ වන ලක්ෂය අගනා මැණිකකින් සමන්විතය. දැලෙහි සෑම සම්බන්ධක ස්ථානයකම එසේ මැණිකක් වන්නේය. ඒ සියලු මැණික් එකිනෙකට සර්ව සමානය. එසේම ඒවායේ වටිනාකම්ද එකසමානය. දැලේ විශාලත්වය අනන්තයක් වන නිසාම මැණික් කැටවල ප්‍රමාණයද අනන්තයකි. කෙළවරක් නැත. බැලූ බැල්මට ඒ දැල දෙස බලන විට කෙළවරක් නැති මැණික් කැට ගොඩක් පෙනෙයි. හරියටම කිවතොත් මැණික් ඇමුණූ තෙරක් නොමැති දැලක්ය, එය. මෙය ඉන්ද්රයන්ගේම හැර කාගේ නිර්මාණයක් ද?
තවත් අතිශය සුවිශේෂී දෙයක් පවතියි. එය නම්, අනන්තයක් වන මැණික් සමූහයේ ඒ සෑම මැණිකකම අනන්තයක් තරමේ විශාල දැලෙහි සම්පූර්ණ චායාවක් පැවතීමයි. එනම් ඒ එක් එක් මැණිකක් තුලම සමස්ත දැලෙහි චායාවක් සනිටුහන් වී තිබෙයි. ඒ අනුව ඒ එක් එක් මැණිකක් තුල ඉන්ද්‍ර මැවූ අනන්ත පරිමාන දැලක් බැගින් පවතියි. විශ්මයනම් එකිනෙකට මුහුණලා ඇති කැඩපත් යුගලක් එහි මැදිවන වස්තුවක අනන්ත ප්‍රමාණ ප්‍රතිබිම්බ සාදනවා පරිද්දෙන්ම ඒ ඒ මැණික තුල වන දැලෙහි චායාවේ පවතින මැණික්වලද එකී පරිද්දෙන්ම ඉන්ද්‍රගේ අනන්ත පරිමාණ දැලක් දිස් වීමය. එනම් ප්‍රතිබිම්බවල මැණික්වලද, ප්‍රතිබිම්බවල මැණික්වල සෑදෙන ප්‍රතිබිම්බවල මැණික්වලද, ආදී වශයෙන් අනන්ත වාරයක් දිගින් දිගටම මෙකී සම්පූර්ණ දැලම අඩුවක් නොමැතිව දිස් වෙයි. එනිසාම මේ මහා නිර්මාණය කරන්නට ඒ දැල තුල පවතින සෑම මැණිකක්ම එක හා සමානව දායක වී ඇති බව හොදින්ම පසක් වෙයි. එක් මැණිකක හෝ කුඩා හෝ පලුදුවක් ප්‍රතිබිම්බයන්හි අනන්තවාරයක් දිස් වන්නට සමර්ත වෙයි. එනම් ඒවාහි අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය කොයිතරම්නම් ද?
රත්න ශ්‍රීයන් මෙයයි "ගණදුරට ඔබ පෙම් කලොත් ඉර හද තරු වලට ණය ගැතියි" යන්නෙන් අදහස් කරන්නේ. සැබවින්ම පෙර කී ඉන්ද්‍රයන්ගේ ජාලයෙහි වූ මැණික් කැට අන් කවරක් නොව ඔබය. මමය. අපි සියල්ලෝම ය. ඉර,හද,තාරකා,ගංගා,ජලය,සුළග,පර්වත,කදු ශිකර,තුරු ලතා සහ සතා සිව්පාවා මේ සියල්ලම එහි වූ මැණික් කැටයි. විශ්වයේ වන සියල්ලම ඒ එක් එක් මැණික් කැට අනන්තය යි. ඒ සහසම්බන්ධතාවයෙන් වන නිර්මාණයට ඒ සියල්ල එක හා සමාන දායකත්වයක් සපයයි. එබැවින් ඒ සියල්ලේම වටිනාකම එක සමානය. එයමයි රත්නයන් පදයට ගළපාලන්නේ. සැබවින්ම ගණදුරට පෙම් කිරීම ආලෝකයට ණයගැතිවීමකි. ඒ තරම්ම ඒ අවස්ථා දෙකම ලෝකයට එක හා සමානව අත්‍යවශ්‍යමය. එය මුලින් කී මැණික් කැට කතාව පරිද්දෙන්ම ලෝකයට සේවය සිදු කරයි. එතරම්ම අන්‍යෝන්‍ය සම්බන්ධයක් වෙයි. ඒ නිසාමයි ගණදුරට මෙන්ම ආලෝකයටත් අප පෙම් කළ යුතු.
රත්න ශ්‍රී තවත් සංකල්පයක් හෙමිහිට ගෙනහැරපායි. අද අපට ලෝකයෙන් ලැබුණු යම් දෙයක් වේද පෙරලා ලෝකයටද අප එය ලබා දිය යුතු බව හේ කියයි. එය නම් අප සියල්ලන්ගේම වගකීමකි. අප සියල්ලන්ම කළ යුතු වන්නකි. ඒ තුලින්මය ඉන්ද්‍රයන්ගේ ජාලයේ ඒ සහසම්බන්ධතාවය තුලින් ඒ මහා නිර්මාණය ගොඩනැගෙන්නේ. අප මුලු ලෝකයටම, ලෝකයේ වන සියල්ලටම පෙම් කල යුතුය. ඒ කිසියම් වූ දෙයක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එයට හේතුව අප බලාපොරොත්තු වන දේවලටත් වඩා දේවල් නොපෙනෙතත් ලෝකය අපට ලබා දෙන්නා වූ බැව්නි. එය හරියටම ඔෂෝ පෙන්වාදෙන වෙනස් විදිහක ප්‍රේමය වගේමය. කොන්දේසි විරහිත වන ප්‍රේමය ය.
"ආරූඪ නොවී
ඊර්ෂ්‍යා නොකර
ඔබට පවතින්න පුලුවන් වෙන්නෙ
වෙනස් වර්ගයක ප්‍රේමයක්
ඔබ තුල පවතිනවනම් විතරයි.
එතකොට ඒක කා මතවත්
යැපෙන්නෙ නැහැ...
ඒ වෙනුවෙන් කාවවත්
උවමනා කරන්නේ නැහැ...
ඒකෙන් වෙන එකම දේ
පිටාර ගලන එක විතරයි."
-ඔෂෝගේ වෙනස් විදිහක ආදරය-
එසේ කිසිවක් බලාපොරොත්තු නොවෙමින් ලෝකයටම තම තමන් පෙම් කරන තරමට ලෝකයම තමාට පෙම් කරන්නේමය. සැබවින්ම මේ ලෝකයට අප ආදරෙයිනම් මුලු ලෝකයම අපටද ආදරේමය. රත්න ශ්‍රී එය අපූරුවට ගලපයි.
"මගෙ දුවේ ඔබ අවදියෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුබටමයි"
මෙහි පියා යනු පවුලක අප කතා කරන පිය භූමිකාව රංගනය කරන්නෙකු නොවේ. මෙකී සංකල්පය අවබෝධ කරගත්තෙකි. ලොවටම ආදරය කරන්නෙකි. ලොවම ආදරය කරන්නෙකි. ඔහු යම් යම් සීමා තුල එනම්, වර්ගභේද ජාතිභේද, ආගම්භේද, කුල භේද, සමාජ-දේශපාලනික භේද ආදී බෙදීම් තුල සිරවී තම ප්‍රේමය සිරකරගත් දියණියට මෙම සංකල්පය වටහා දෙයි. ඔහු ඇයට කියන්නේ මගෙ දුවේ කියා ය. ඒ තරම්ම ඇයට සමීප වෙයි. මෙසේ සිර වූ කුටියෙන් එලියෙහි මිහිරි බව කියා ඒ දියණිය සිර වී සිටින කුටියෙහි දොර විවර කරන්නට ඔහු ඇයට ආරාධනා කරයි. එය බලහත්කාරයෙන් නොවේ. එය පෙන්වන්නටත්, එනම් දියනියට කෙලින්ම නොකියා දොර විවර කරන්නට'යි නොකියා කරන ආරාධනාව රත්න ශ්‍රී හරි පරෙස්සමෙන් "දොර ඇරන් එළියට ආවොතින්" කියා හරි අපූර්වතව පදබදියි. මේ නම් අපූරු පද ගැලපීමකි.
"සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි"
සේපාලිකා මල් බිමට බැස ඇවිදින්නේ සද එළිය මත සුළං රොදේය. තාරකාවෝ වැව් දියෙහි රූපණය වන්නේත් මේ කලුවරේය. ඒ කෙතරම්ද සුන්දරද යත්, දියණිය ඒ රාත්‍රියට,ගණදුරට පෙම් බැද සෞම්යමව සිනාසෙයි. 'මගෙ දුවේ මේ අන්ධකාරය වගේමයි ආලෝකයත්. හිරුත්, සදුත්, තරුත් අපිට පෙම් බදිනවා. අප ජීවත් කරනවා.' යි නොකියා තම දියණියට ඔහු පෙන්නුම් කර දෙයි.
මෙහිදී රත්න ශ්‍රීගේ පද යෝජනය ගැන කතා කල යුතුමය. අපූර්වතව නව්‍යව රසමුසු බසක් හේ ගලපාලයි. ඇතැම් තැන් කෙලින් නිකියා රහසේ කියන්නට හේ සියුම්ව පද තනයි.
සැබවින්ම මේ සියල්ල එකිනෙකට බැදුන සහසම්බන්ධයේ අපූර්වත නිර්මාණය මේ ලෝකය ය. සැබවින්ම එනිසාමයි අප ලොවට පෙම් බැදිය යුතුම.
මේ ලොවට අප ආදරෙයිනම්, සැබවින්ම
මුලු ලොවම අපටත් ආදරෙයි.......
2019.10.21