Friday 23 June 2023

පරිසර දිනය අද නොවේ !

 ලෝක පරිසර දිනය අද නොවේ !




     සමහරක් විට ගස් ගල් වන්දනාමාන කල දුරාතීතයේ මීට වඩා මිනිස්සු ඒවා ගැන හිතුවා වෙන්නට ඇති. ජගත් පරිසර දින, ජගත් පැළ සිටුවීම් දින නොපැවතුනාට මේ තරම් පරිසර විනාශයක් එදා ඔවුහු සිදු නොකලා ඇති.


     ෆේස්බුක් වෝල් පුරවන ගස් සිටුවන සෙල්ෆි සහ  ගස් සිටුවීමේ රැලි හැරෙන්නට කන අයිස් පැකට්ටුව කුණු බක්කියක් සොයා එයට දමන්නට සිතන කොල්ලො කෙල්ලෝ අද ඉන්නේ අතලොස්සකි. අතේ ඇති ටොෆි කොලය මග නොදමා ගෙදර ගෙන යාම විහිළුවක් බව ඒත්තුගැන්වීමට තරම් ඔවුන්ගේ මනස සකස් වී ඇත. ඩිජිටල්කරණය වූ ඔලුගෙඩි තුල පරිසරය විදින්නට අවකාශය අඩු වීම යම් තාක් දුරට මේ තරම් පුද්ගලයා සහ ස්වභාමාතාව දුරස්ථ වීමට හේතුවක් වනවාත් ඇත.


     එක අතකින් ස්වභා සිරිය නොවිදපු, එහි අපූර්වත්වය ඇස නොගැටුනු මනසකට ඒ පිළිබඳ ඇල්මක් නොපැවතීම පුදුමයකුත් නොවේ. ජීවිතය හා බද්ධ නොවුණු ගසක් ගලක් රැකීමට හද පතුලෙන්ම අදහසක් නොඑන්නෝ එනිසා විය යුතුය.ප්‍රේම සම්බන්ධතාවක් බිද වැටුණු කල එය වෙනුවෙන් කාලාන්තරයක් හූල්ලන්නේ එය හද පතුලටම වැදී ඇති බැව්නි. ඒ බැඳීම් ස්වභා මාතාව කෙරෙහි පැවතියානම් මේ විනාශවන වනාන්තර , ගංගා ඇළ දොළ , සාගර , සතා සිව්පාවා දකින සිහිවන විට හූල්ලනවා නොව හෘද වස්තුව පවා හිරවීමට ඉඩ ඇත. ඒ තරම් අකරතැබ්බයක් ස්වභා මෑනියෝ අද අත්විදිති.


     අපගේ ස්වභා මවුන්ගේ ඇස් ඉස් මස් ක්ෂය වී ඇත. ලැම ඉරා දමා උගුල්ලා ඇත. අත් පා එල්ලී ඇත්තෝ හන්දිවල ඇති ශක්තිමත්භාවය නිසාමය. රෝම කූපයක්වත් ඉතිරිකර නැත. ලේ නහර සිඳී ගොස් ඇත. කොටින්ම ඈ පණ අදිනවා ය.


     ඇයට පෙම් කරන්නෝ අතලොස්සකට එය තදබලව දැනුනත් බොහෝ පිරිසකට ඒ ගැන වගෙන් වගක් නැත. අපිට වැරදී ඇත්තේ එතනයි., අපි අපේ මෑණියන්ට සමීප වී නැත .!


     මළගමක වුව හඩා වැලපෙන්නේ සමීපතමයෝ පමණි. අනිත් වුන්ට වගේ වගක් නැත. අපි අපේ මෑනියන්ට තවම සමීප වී නැත. ඈ පණ අදිද්දීත් ඇගේ ඇස් ඉස් මස් උරා බොන්නේ එහෙයිනි. එසේනම් අප කළ යුත්තේත් මෙයයි. අප අපේ මෑනියන්ට සවන් දිය යුතුය. ඇයට සමීප විය යුතුය. පුදසත්කාර කළ යුතුය. කොටින්ම ඈ ආදරයෙන් රැකබලා ගත යුතුය.


     අප මෙලොවට බිහි කලේ ඇයයි. ලේ කිරි කර පොවා ඇදි දැඩි කලේ ඇයයි. කන්නට බොන්නට දී ජීවත් කලේ ඇයයි. කොටින්ම මේ හුස්ම පොද අපට පොවන්නේ ද ඇයයි. එහෙත් අප ඇගෙන් ඈත් වූ කාරණය පුදුමාකාරයි. 


     "අමුතුවෙන් ගස් සිටුවා සන්දර්ශන කල යුතු නැත. ෆේස්බුක් ෆ්‍රොෆයිල පැළ අතින්ගත් සෙල්ෆිවලින් සැරසිය යුතු නැත. ඇයට සවන් දෙන්න. ඇයට සමීප වන්න. ඇයට ආදයට කරන්න. ස්වභා මාතාව අපට අසීමිතව ආදරය කරනවා ඇත."

Thursday 22 June 2023

අධ්‍යාපනය අලුතින් ලියමු | කල්ප ප්‍රියදර්ශන බණ්ඩාර මහතා සමඟ සිදු කළ සාකච්ඡා මාලාව




අන්සතු ඔබ

 අන්සතු ඔබ...





     ප්‍රේමය වනාහි චිත්ත සන්තානයම වෙලා ගන්නා අරුම අත්දැකීමකි. බුදුන් වහන්සේ ම වරෙක ප්‍රකාශ කරන්නේ 'පුරුෂයෙක් ස්ත්‍රීයක කෙරේත්, ස්ත්‍රියක පුරුෂයෙකු කෙරේත් බැඳෙන බැඳුම තරම් තද බැඳීමක් ලොව තවත් නොමැති' බවයි. සැබැවින්ම එය සැබෑවකි. ප්‍රේමය නිසාම දිවි පුබුදුවා ගත්ත උන් සේම එනිසාම ජීවිතය අවුල් වියවුල් කරගත්තවුන් ද මිහිපිට අපි දකිමු.


     ප්‍රේමයට වැටකොටු නැත. එයට සීමා මායිම් නොමැත. අන්ධ භක්තියෙන් අන්ධ භක්තිකයෙක් කිසිදු පැහැදීමක් හෝ හේතු ප්‍රත්‍යක් රහිතව ම තම දෙවියන් අදහන්නා සේ කිසිදු ආකාරයේ වැටහීමක් හෝ රහිතවම ප්‍රේමවන්තයෝ පෙමෙන් බැඳෙති. අවසානයේ එය කොහෙන් කොහොම කවදා කෙසේ වූවා ද යන්නවත් ඔවුන්ට වැටහීමක් නැත.

     

     ආගමික,සංස්කෘතික පූර්වාදර්ශ හරහා යම් සමාජයක සම්මතයන් හෝ අසම්මතයක් ස්ථාපිත වෙයි. එකී සමාජය පොදුවේ සම්මතයන්ට ගරු කරන අතර අසම්මතය ප්‍රතික්ෂේප කරයි. ප්‍රේමය වැනි අත්දැකීමක් ද සමාජය තුළ පිළිගන්නේ හෝ බාරගනු ලබන්නේ එවැනි සම්මතය හා අසම්මතය සමග සම්බන්ධ වෙමිනි. පන්ති ප්‍රාන්තර, කුල මල භේද, වයස් පරතර, ස්ත්‍රී පුරුෂ වැනි ආංගික ලක්ෂණයන් අතර සම්මතයන් සහ අසම්මතයන් සමග ප්‍රේමය ගනුදෙනු කරයි.


     ප්‍රේමය අසම්මත වූ විට එය සමාජ තලයෙන් ප්‍රතික්ෂේපීකරණය වෙයි. සමාජය ගරු කරන්නේ අසම්මතයට නොව සම්මතයටයි. නමුදු, ප්‍රේමයෙන් ආතුර වූවෙකුට ඒ කිසිදු සීමාවක් හෝ බාධාවක් බිදකදු තරම් නොවේ. ඒවා බිඳ දමා තමා ගේ සදාතනිකය අරුම අද්දැකීම පසුපස ලුහු බදියි.


     "අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා 

      ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා

      සම්මතයෙන් පිට ප්‍රේමක වෙලිලා

      මගහැර යන්නට බැරි ලෙස බැඳිලා" 


     ප්‍රේමවන්තයාගේ සිට බැඳී තිබෙන්නේ අන්සතු වූවකුගේ හදවතක් කෙරෙහි ය. සමාජය විවාහ ලියවිල්ලකින් ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියකට ලියවා දෙයි. ඒ ලියවිල්ල ම ඇතැම් විට එක් ප්‍රේමවන්තයෙකුට සීමාවකි, බාධාවකි. එය බිඳ දමා ඉදිරියට යත්ම හේ අසම්මතයට කොටුවෙයි. සම්මතයන් පිටට පනියි. නමුදු ප්‍රේමවන්තයාට එය කිසිසේත්ම අදාල වන්නේ නැත. ඔහුගේ මුළු ලෝකයම පිරි ඇත්තේ එකී ප්‍රේමය නිසාම ය.


     හිමි අහිමි බව හෝ නොදැන අන්සතු තැනැත්තියක බව හෝ නොසලකා ඔහු තුළ තිබුණු ස්නේහයේ මල් හේතුවක් නොමැතිව ඇය කෙරෙහි පුදයි. සැබැවින්ම ඔහුගේ අන්ධ දෙවියන් ඇයයි. ඇය කෙරෙහි උපන් ස්නේහ භක්තිය හිත තුළ දරයි. එය කොතරම් බලවත් ද යත් කොතරම් සම්මතවිග්‍රහ වුවත් ඔහුට එය අත්හැරිය හෝ මගහැරිය නොහැකිය. සමාජය නගන දෝෂාරෝපණය, ඔහුට අත් දකින්නට වන අමිහිරි අත්දැකීම්, මේ කිසිත් නොතකා ඇය සමඟ හද තුල අහස් මාළිගා තනයි. සමාජ අසම්මතයන් වීම හා සම්මතයන් පිටට යාම නිසා ඔහුට හිමිවන දඬුවම් ඇය කෙරෙහි ඇති ප්‍රේමය අභියස මේ මහා ප්‍රේමවන්තයාට කුඩා කුහුඹුවන්‍ ය. 


     "සෙනෙහස උතුරන වදනට සිත් වී

      ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

      දැන දැන හිමි නොවෙනා බව නොදැනී

      මම තව තව ඔබ වෙත පෙම් කරමී"


     ප්‍රේම ලෝකය තුළ සැබැවින්ම දාර්ශනිකයෝ නොමැත. ළදරුවෙකු තරමටත් වඩා බාල ලඳ බොලඳ ප්‍ර්වෙමවන්තයෝ පෙම් ලොවෙහි පෙම් වදන් තෙපුලති. විටෙක ඇය කෙරෙහි ඇති ප්‍රේමය මෝදු වන්නේ එක් නෙතඟ බැල්මකිනි. එක්කෝ තෙපුලන පුංචි වදන් පෙලකිනි. තවත් විටෙක ඉතාම මෘදු සුරාන්තයට ගෙන යන ආදර සිප ගැනීමකි. මේ සියල්ල ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තියගේ සිත තුල අතරමං කරවයි. ඇයගේ මුවග සිනහව, නෙතග බැල්ම, මුදු වදන් නැවත නැවත ආයාචනා කරයි. 

     

     නමුදු මේ සියල්ල පවතින්නේ මනෝරාජික වූ ලෝකයකය. විටෙක ඔවුන්ට, ඔවුන් සම්මතයෙන් පිට අතරමන්ව හිමි නොවනා ප්‍රේමයක් අද්දර රැඳී සිටින බව හෝ නොපෙනෙයි. එය කෙමෙන් අවබෝධ කරගන්නවා වෙනුවට ප්‍රේමයේ අනන්තයට ඉගිලෙයි. නිදහසේ අහස තුළ නිදැල්ලේ සැරි සරන කුරුල්ලෙකු සේ සියල්ල හැර දමා ප්‍රේමයේ මංමාවත් වල ඔහේ ඉගිලෙයි. තව තවත් ඇය කෙරෙහි ඇලුම් වඩයි. ඇය හා බැදෙයි. නමුත් යථාර්ථය ලෝකයාට ඔවුන් සම්මතයෙන් පිට ජීවත් වන ප්‍රේමවන්තයින් බවයි. කෙදිනක හෝ මෙම යථාර්ථයට ඔවුන්ට මුහුණපෑමට සිදුවෙයි.


     "ලොවටම රහසේ සිහිනෙක දැවටී 

      ඔබ ලඟ සැතපී මම සුව විඳිමි

      වරදක් නොකරම වරදෙහි බැඳුනි

      සිත සනසා ගෙන දුර හිඳ විඳිමි..."


     ප්‍රේමවන්තයින්ට සම්මතයෙන් පිට ගිය විට සිදුවන්නේ සමාජ සංස්ථාවට හොර රහසේ තම ප්‍රේමණීය ප්‍රේම වෘත්තාන්තය කලඑළි ගැන්වීමටය. අවසානයේ ප්‍රේමවන්තයා තමාගේ මුළු ලෝකයම වූ ඇය ලෝකයාටම හොර රහසේ විඳ ගැනීමට සිදුවෙයි. සමහරවිට බාහිර සමාජයේ ඉදිරියේ ඔහුට ඇය හා එකම මාවතක දෑත් පටලා ගමන් කළ නොහැකිය. ප්‍රේමවන්තයින් දහසකුත් පෙම්බස් දොඩන දෑත් වෙලා පෙම් සුව විඳින ප්‍රේමණීය බංකු මත එකට වාඩි වී සිටිය නොහැක. ලොවට හඬ නගා 'ඈ මාගේ' යැ හදපිරි ස්නේහයෙ කෑ ගැසිය නොහැක. අඩුම තරමේ මිනිසුන් අතර ඇගේ නෙතු සොය සොයා ඒම විඳිමින් වචන දෙක තුනකුදු කතාබහ කළ නොහැක. ඔවුන් ඒ හැමදෙයම හැමදෙනාටම සැඟවිය යුතුව ඇත.


     සැබැවින්ම ප්‍රේමය යනු කුමක්ද යන්න කිසිවෙකුටත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ප්‍රේමය තව තම තමාට අනුව ගලපා ගත යුතුය. අයෙකු ප්‍රේමයේ ගනුදෙනු කරන ආකාරය තවකෙකුට නොගැලපෙයි. තවකෙකු ඒ තුළ හැසිරෙන ආකාරය තවත් අයෙකුට හාත්පස වෙනස් වෙයි. තම තමාට අනුව තම තමා විසින්ම ප්‍රේමය නම් සංකල්පය චිත්ත සන්තානය තුළ පැලපදියම් කරගනී.


     සැබවින්ම ප්‍රේමය වනාහි සංකල්පයකි. තම තමාට දැනෙන පමණින් තම තමාට හැඟෙන, වැටහෙන අයුරින් තම තමා ප්‍රේමණීය සංකල්පයක් "ආදරය" නමින් ගොඩනඟා ගනී. එය කිසිදු ලිඛිත හෝ වාචික භාෂාවකින් ප්‍රකාශනය කළ නොහැක. ඒ ප්‍රකාශ කළ හැක්කේ ප්‍රේමණීය මොහොතක බිහිවන ප්‍රේමයේ භාෂාවකින් ම පමණි. 


     විටෙක එය ආගන්තුක ය. තවත් විටෙක හුරුපුරුදු සහෘදයෙක්ය. දෙවියෙක්ය. මුනිවරයෙක්ය. වරෙක එය සේද මුදු සළුවකින් වෙලන ලද තියුණු මුවහත් අවියකි. මුළු ලෝකය ම තමා ඉදිරියෙහි ඇද වැටී තමා පමණක් ඉතිරිව ලෝක විනාශයක් හමුවේ ඇතිවන වේදනාකාරී හැඟීමකි. විරහවකි. වේදනාවකි. ශෘංගාරයකි. පරිත්‍යාගයකි. පටු ආත්මාර්ථයකි. ලෝභයෙන් මුසපත් වන ඊර්ෂ්‍යාවෙන් අන්ධ වෙන අසීරුත්ර අත්දැකීමකි. විටෙක හද පුදසුන් මත පුදන ස්නේහයේ පුෂ්පයකි. එය රළු වෙයි. මෘදු වෙයි. වේදනාකාරී වෙයි. නමුත් එය තරම් සුන්දර වූත් සුමිහිරි වූත් සෞම්‍ය වූත් සියල්ල අත්හැර දමා ඒ කෙරෙහිම දිවි තබන්නට හැකි වෙනත් කිසිදු හැඟීමක් වෙන නොවන්නේ ය. එතරම් එය ප්‍රබල ය. ශක්තිමත් ය. 


     ප්‍රේමයෙන් වෙලාගත් ප්‍රේමයෙන් සැනසුම් ලැබූ සිතකට කිසිවක් අදාල වන්නේ නැත. ඒ සියලු සීමා බාධා, වැටකොටු මායිම් අතහැර දමා පලා ගොස් ප්‍රේමණීය ලෝකයක තම කැදලි තනයි. තමා උන්මන්තකයකු වී පොලෝ තලයෙන් ගව් ගාණක් ඉහළ අහස් මාලිගාවක දිවිගෙවන බව අවබෝධ වූ තැනත් ලොවටම රහසේ සිහිනයෙන් හෝ ඇය හා දොඩමලු වීමට ආසක්ත කරයි. පොදු සමාජයට ඈතින් හෝ ඇයට නොදැනීම ඇය කෙරෙහි ප්‍රේමණීය වෙයි. දුරින් හිඳ එම ප්‍රේමණීය බව තනිවම විදියි. සැබැවින්ම ප්‍රේමයට සම්මතයන් කොහෙද ? 


          දැන දැන හිමිනොවනා බව නොදැනී

          මම තව තව ඔබ වෙත පෙම් කරමි.


Cover song by Mahesh Navarathane ft. Kanishka Rangana - Ansathu oba cover song

Thursday 3 November 2022

ඔබ මේ ලොවට ආදරේනම් - මුලු ලොවම ඔබටත් ආදරෙයි

 ඔබ මේ ලොවට ආදරේනම් - මුලු ලොවම ඔබටත් ආදරෙයි || රත්න ශ්‍රී 



         රත්න ශ්‍රීයන් විසින් ගලපන අපූර්වත පද සංකල්පනාවක් ඔස්සේ දිගහැරෙන "මගෙ දුවේ ඔබ අවදියෙන්නම්" සුවිශාල ජීවන සංකල්පයක් උද්දීපනය කරන්නකි. ඒ වනාහි හේ තෙමේ කුමක් නම් වස්තු විෂය කරගෙන තැතැනුවත් එහි වන පද මාලාව මහා කතාන්දරයක් කියා පායි. සමස්තයක් ලෙස කෙනෙක් ඒ හරහා පියෙකු තම දියණියට සෙනෙහෙ සිතින් කරන ප්‍රකාශයක් හෙලි කරන බැව් දකිත් මුත් එය ඊට එහායින් යමක් ප්‍රකාශ කරනා පද පෙලකි.


         පද එකිනෙක ගීතයට පිළිවෙලින් මුසු කරන්නට ඇතත් එහි උච්චතමය අවසානයේදී පෙන්නුම් කරයි. එය වනාහි යථාර්ථයමයි. තේරුම් ගත යුතුම වූ සංකල්පයයි.


" ගණ කලුවරට අප පෙම් කළොත්

 ඉර හද තරු වලට ණයගැතියි

 ලොව දුන්නු දේවල් අද අපිට

 හෙට ලොවට පෙරලා දිය යුතුයි

 ඔබ මේ ලොවට ආදරෙයි නම්

 මුලු ලොවම ඔබටත් ආදරෙයි "


     රත්න ශ්‍රී මෙයින් මහා කතාන්දරයක් පුංචි පද කිහිපයකට කැටි කරයි. එය නම් මෙසේය,...


         ලෝකයේ වන සියල්ලම ලෝකයටම අවශ්‍ය ය. ඉවතලිය යුතු දෙයක් නොමැති තරම්ය. ඒවා ලෝකය විසින්ම තමා වෙනුවෙන් නිර්මාණය කරගත්තා වූ දේවල් ය. ඒ යම් දෙයක් නොමැතිව යන්නේද ලෝකයේ පැවැත්මටද එය බලපෑම් කරන්නේ ය. එතරම්ම අන්‍යෝන්‍ය සබැදියාවක් ඒ සියල්ල අතර පවතින්නේ ය. එය කෙසේද බැව් මෙසේ සදහන් කරන්නට ඇහැකි.


         ඉන්ද්‍රජාලයක් වන්නේය. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අතිශයින්ම විශ්මිතය. ඒ අන් කවරක් නොව ඉන්ද්‍රයන්ගේ විශ්වය නිර්මාණයේ කතා වස්තුවයි. කතාවට අනුව මහා බල සම්පන්න ඉන්ද්‍රයෝ ජාලයක් මැවූහ. ව්‍යවහාරයේනම් එය මහා දැලකි. එහි අගක් මුලක් සොයාගන්නටනම් නොහැකිය. එය කෙතරම්ද යත් විශාලත්වයෙන් අනන්තයකි. අන් සියලු දැල් වලහි මෙන්ම මෙහිත් නූල් සම්බන්ධ වූ තැන් ඇත. නූල් සතරක සම්බන්ධ වන ලක්ෂය අගනා මැණිකකින් සමන්විතය. දැලෙහි සෑම සම්බන්ධක ස්ථානයකම එසේ මැණිකක් වන්නේය. ඒ සියලු මැණික් එකිනෙකට සර්ව සමානය. එසේම ඒවායේ වටිනාකම්ද එකසමානය. දැලේ විශාලත්වය අනන්තයක් වන නිසාම මැණික් කැටවල ප්‍රමාණයද අනන්තයකි. කෙළවරක් නැත. බැලූ බැල්මට ඒ දැල දෙස බලන විට කෙළවරක් නැති මැණික් කැට ගොඩක් පෙනෙයි. හරියටම කිවතොත් මැණික් ඇමුණූ තෙරක් නොමැති දැලක්ය, එය. මෙය ඉන්ද්‍රයන්ගේම හැර කාගේ නිර්මාණයක් ද?


         තවත් අතිශය සුවිශේෂී දෙයක් පවතියි. එය නම්, අනන්තයක් වන මැණික් සමූහයේ ඒ සෑම මැණිකකම අනන්තයක් තරමේ විශාල දැලෙහි සම්පූර්ණ චායාවක් පැවතීමයි. එනම් ඒ එක් එක් මැණිකක් තුලම සමස්ත දැලෙහි චායාවක් සනිටුහන් වී තිබෙයි. ඒ අනුව ඒ එක් එක් මැණිකක් තුල ඉන්ද්‍ර මැවූ අනන්ත පරිමාන දැලක් බැගින් පවතියි. විශ්මයනම් එකිනෙකට මුහුණලා ඇති කැඩපත් යුගලක් එහි මැදිවන වස්තුවක අනන්ත ප්‍රමාණ ප්‍රතිබිම්බ සාදනවා පරිද්දෙන්ම ඒ ඒ මැණික තුල වන දැලෙහි චායාවේ පවතින මැණික්වලද එකී පරිද්දෙන්ම ඉන්ද්‍රගේ අනන්ත පරිමාණ දැලක් දිස් වීමය. එනම් ප්‍රතිබිම්බවල මැණික්වලද, ප්‍රතිබිම්බවල මැණික්වල සෑදෙන ප්‍රතිබිම්බවල මැණික්වලද, ආදී වශයෙන් අනන්ත වාරයක් දිගින් දිගටම මෙකී සම්පූර්ණ දැලම අඩුවක් නොමැතිව දිස් වෙයි. එනිසාම මේ මහා නිර්මාණය කරන්නට ඒ දැල තුල පවතින සෑම මැණිකක්ම එක හා සමානව දායක වී ඇති බව හොදින්ම පසක් වෙයි. එක් මැණිකක හෝ කුඩා හෝ පලුදුවක් ප්‍රතිබිම්බයන්හි අනන්තවාරයක් දිස් වන්නට සමර්ත වෙයි. එනම් ඒවාහි අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය කොයිතරම්නම් ද?


         රත්න ශ්‍රීයන් මෙයයි "ගණදුරට ඔබ පෙම් කලොත් ඉර හද තරු වලට ණය ගැතියි" යන්නෙන් අදහස් කරන්නේ. සැබවින්ම පෙර කී ඉන්ද්‍රයන්ගේ ජාලයෙහි වූ මැණික් කැට අන් කවරක් නොව ඔබය. මමය. අපි සියල්ලෝම ය. ඉර,හද,තාරකා,ගංගා,ජලය,සුළග,පර්වත,කදු ශිකර,තුරු ලතා සහ සතා සිව්පාවා මේ සියල්ලම එහි වූ මැණික් කැටයි. විශ්වයේ වන සියල්ලම ඒ එක් එක් මැණික් කැට අනන්තය යි. ඒ සහසම්බන්ධතාවයෙන් වන නිර්මාණයට ඒ සියල්ල එක හා සමාන දායකත්වයක් සපයයි. එබැවින් ඒ සියල්ලේම වටිනාකම එක සමානය. එයමයි රත්නයන් පදයට ගළපාලන්නේ. සැබවින්ම ගණදුරට පෙම් කිරීම ආලෝකයට ණයගැතිවීමකි. ඒ තරම්ම ඒ අවස්ථා දෙකම ලෝකයට එක හා සමානව අත්‍යවශ්‍යමය. එය මුලින් කී මැණික් කැට කතාව පරිද්දෙන්ම ලෝකයට සේවය සිදු කරයි. එතරම්ම අන්‍යෝන්‍ය සම්බන්ධයක් වෙයි. ඒ නිසාමයි ගණදුරට මෙන්ම ආලෝකයටත් අප පෙම් කළ යුතු.


         රත්න ශ්‍රී තවත් සංකල්පයක් හෙමිහිට ගෙනහැරපායි. අද අපට ලෝකයෙන් ලැබුණු  යම් දෙයක් වේද පෙරලා ලෝකයටද අප එය ලබා දිය යුතු බව හේ කියයි. එය නම් අප සියල්ලන්ගේම වගකීමකි. අප සියල්ලන්ම කළ යුතු වන්නකි. ඒ තුලින්මය ඉන්ද්‍රයන්ගේ ජාලයේ ඒ සහසම්බන්ධතාවය තුලින් ඒ මහා නිර්මාණය ගොඩනැගෙන්නේ. අප මුලු ලෝකයටම, ලෝකයේ වන සියල්ලටම පෙම් කල යුතුය. ඒ කිසියම් වූ දෙයක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එයට හේතුව අප බලාපොරොත්තු වන දේවලටත් වඩා දේවල් නොපෙනෙතත් ලෝකය අපට ලබා දෙන්නා වූ බැව්නි. එය හරියටම ඔෂෝ පෙන්වාදෙන වෙනස් විදිහක ප්‍රේමය වගේමය. කොන්දේසි විරහිත වන ප්‍රේමය ය.


"ආරූඪ නොවී

 ඊර්ෂ්‍යා නොකර

 ඔබට පවතින්න පුලුවන් වෙන්නෙ

 වෙනස් වර්ගයක ප්‍රේමයක්

 ඔබ තුල පවතිනවනම් විතරයි.

 එතකොට ඒක කා මතවත්

 යැපෙන්නෙ නැහැ...

 ඒ වෙනුවෙන් කාවවත්

 උවමනා කරන්නේ නැහැ...

 ඒකෙන් වෙන එකම දේ

 පිටාර ගලන එක විතරයි."

             -ඔෂෝගේ වෙනස් විදිහක ආදරය-


         එසේ කිසිවක් බලාපොරොත්තු නොවෙමින් ලෝකයටම තම තමන් පෙම් කරන තරමට ලෝකයම තමාට පෙම් කරන්නේමය. සැබවින්ම මේ ලෝකයට අප ආදරෙයිනම් මුලු ලෝකයම අපටද ආදරේමය. රත්න ශ්‍රී එය අපූරුවට ගලපයි.


"මගෙ දුවේ ඔබ අවදියෙන්නම්

 මේ රැයේ මිහිරිම වෙලාවයි

 දොර ඇරන් එලියට ආවොතින්

 මේ මිහිරි දේවල් නුබටමයි"


         මෙහි පියා යනු පවුලක අප කතා කරන පිය භූමිකාව රංගනය කරන්නෙකු නොවේ. මෙකී සංකල්පය අවබෝධ කරගත්තෙකි. ලොවටම ආදරය කරන්නෙකි. ලොවම ආදරය කරන්නෙකි. ඔහු යම් යම් සීමා තුල එනම්, වර්ගභේද ජාතිභේද, ආගම්භේද, කුල භේද, සමාජ-දේශපාලනික භේද ආදී බෙදීම් තුල සිරවී තම ප්‍රේමය සිරකරගත් දියණියට මෙම සංකල්පය වටහා දෙයි. ඔහු ඇයට කියන්නේ මගෙ දුවේ කියා ය. ඒ තරම්ම ඇයට සමීප වෙයි. මෙසේ සිර වූ කුටියෙන් එලියෙහි මිහිරි බව කියා ඒ දියණිය සිර වී සිටින කුටියෙහි දොර විවර කරන්නට ඔහු ඇයට ආරාධනා කරයි. එය බලහත්කාරයෙන් නොවේ. එය පෙන්වන්නටත්, එනම් දියනියට කෙලින්ම නොකියා දොර විවර කරන්නට'යි නොකියා කරන ආරාධනාව රත්න ශ්‍රී හරි පරෙස්සමෙන් "දොර ඇරන් එළියට ආවොතින්" කියා හරි අපූර්වතව පදබදියි. මේ නම් අපූරු පද ගැලපීමකි.


"සේපාලිකා මල් බිමට බැහැලා

 ඇවිදින්න යන වෙලාවයි

 නිල් තාරකා බිම බලාගෙන

 වැව් දියට පෙම් බැදි වෙලාවයි

 මේ පොළොව කෙතරම් සුන්දරද

 මගේ දූ තනියම හිනාවෙයි"


         සේපාලිකා මල් බිමට බැස ඇවිදින්නේ සද එළිය මත සුළං රොදේය. තාරකාවෝ වැව් දියෙහි රූපණය වන්නේත් මේ කලුවරේය. ඒ කෙතරම්ද සුන්දරද යත්, දියණිය ඒ රාත්‍රියට,ගණදුරට පෙම් බැද සෞම්‍යමව සිනාසෙයි. 'මගෙ දුවේ මේ අන්ධකාරය වගේමයි ආලෝකයත්. හිරුත්, සදුත්, තරුත් අපිට පෙම් බදිනවා. අප ජීවත් කරනවා.' යි නොකියා තම දියණියට ඔහු පෙන්නුම් කර දෙයි.


         මෙහිදී රත්න ශ්‍රීගේ පද යෝජනය ගැන කතා කල යුතුමය. අපූර්වතව නව්‍යව රසමුසු බසක් හේ ගලපාලයි. ඇතැම් තැන් කෙලින් නිකියා රහසේ කියන්නට හේ සියුම්ව පද තනයි. 


         සැබවින්ම මේ සියල්ල එකිනෙකට බැදුන සහසම්බන්ධයේ අපූර්වත නිර්මාණය මේ ලෝකය ය. සැබවින්ම එනිසාමයි අප ලොවට පෙම් බැදිය යුතුම.


 මේ ලොවට අප ආදරෙයිනම්, සැබවින්ම

       මුලු ලොවම අපටත් ආදරෙයි.......


2019.10.21

ලිංගිකත්වය සහ කාන්තාව

 ලිංගිකත්වය සහ කාන්තාව



         ලිංගිකත්වය සහ කාන්තාව දෙස ලාංකේය පුරුෂයා දරන මතය අතිශයින්ම ගෝත්‍රිකවාදී සංකල්පයකට සමානය. ඔහු සිතන්නේ "තමා කාන්තාවන් දහසක් සමග නිදි වැදුනත් තමාගේ බිරිය තමා සමග පමණක් නිදි වැදිය යුතුය" බවයි. තමාගේ බිරිද තමා සමග පමණක් නිදි වැදිය යුතු සංකල්පය තරමක් සාධාරණීකරණය විය හැකිය. එහෙත් තමා කාන්තාවන් දහසකගේ පහස විදිමින් එවැනි සංකල්පයක එල්ලී සිටීම කොයිතරම්නම් දුරට සාධාරණ ද?


         යුරෝපානු සංස්කෘතියට සාපේක්ෂව ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටක සංස්කෘතිය අතිශයින්ම පරස්පරය. යුරෝපානු සංස්කෘතිය තුල ලිංගිකත්වය යනු විවෘත සංකල්පයකි. එහෙත් ලංකාව වැනි රටක ලිංගිකත්වය යනු සංවෘත්ත වූ එහෙත් පිරිමියාට පමණක් මූලික වූ සංකල්පයකි.


         පොදුවේ, පුරුෂයා අඩුම තරමින් කාන්තාවන් දහයක දොලහකවත් පහස ලැබුවොත් නියම පිරිමියෙකු වන්නේය. එහෙත් කාන්තාව කෙරෙහිනම් , ඇය එක් පුරුෂයෙකු සමගවත් නිදිවැදුනොත් ඕ මහා වෛශ්‍යාවක වන්නීය. මේ වූ කලි මහා ගෝත්‍රික සංකල්පයක සිද්ධාන්තයක් නොවන්නේද?


         එක්කෝ කාන්තාවට සාපේක්ෂව පිරිමියාද ලිංගිකත්වය තුල සීමා සංකල්පයකින් යුක්ත වීම යුතුය. නැතිනම් කාන්තාවට ද පුරුෂයාට සාපේක්ෂවම ලිංගිකත්වය කෙරෙහි විවෘත සංකල්පයකින් යුතු වීම යුතුය. නමුත් එවැනි සංකල්පයක් ලාංකේය සංස්කෘතියට ආගමනය වීම සිහිනයක් බව යතාර්ථයකි.


         හුදු සුදු ඇදුමට පමණක් වසන් වුනු බොහෝ පිරිමි ශුද්ධවන්තයෝනම් නොවේ. මන්ත යත් එකී ගෝත්‍රික සංකල්පයේම පිහිටාරක්ෂාවෙන් ඔවුහු ලිංගිකත්වය වෙනුවෙන් පුරුෂාධිපත්‍යය විහිදුවන බැව්නි.


     දෙනෝ දහක් අත ගත්තද....

     සැමියෙක් නැති ලදුනේ........


        කේදජනකම කාරණාවනම් අතින් අතට ගියද ඇයටම කියා පුරුෂයෙකු නොවීමයි. තාවකාලිකව රැයක් පහන් කිරීමට ඇය වෙනුවෙන් ඕනෑතරම් පිරිමි සිටිති. එහෙත් ඇගේ අත ගෙන පෙම් දමින් දවසක් ගෙවන්නට අයෙකු නැත. ඇයගේ හදවතට ලං වන්නට කෙනෙකු නැත. ඊට හේතුව ලෙස පිරිම්න් සලකන්නේ දෙනෝ දාහකගේ අත ගැනීමයි.

        නමුදු මේ සංකල්පය පිරිමියාට කොහෙත්ම බලපාන්නේ නැත. කතාවටම අනුව "සෝදා ගෙට උනු කල' ඔහු ශුද්ධවන්තයෙකි. දෙනෝදාහකගේ අත ගත්තද ඔහුගේ විවාහය වෙනුවෙන් කන්‍යාවක් බලා සිටින්නීය.


     පිරිමින්ගේ පාප කදට

     දෝස විදින ලදුනේ...

     

     අදුරේ පව් කරන දනා

     එලිය රවන ලදුනේ...

     ලැම පමණක් ලොවට පෙනෙන

     ලය නොපෙනෙන ලදුනේ.........


        සැබවින්ම ඇය පිරිමින් ලගට ගියා නොවේ. පිරිමියා ඇය සොයාගෙන ඈ වෙන එන්නේය. රැයක් වෙනුවෙන් ඇගේ අත ගන්නේය. රැයට පමණක් ඇගේ පරම අයිතිකාරයා වන්නේය. එහෙත් අවාසනාවට ඊලග රැයේ ඈ සොයාගෙන ඈ හිමිකරගන්නට පැමිනෙන්නේ ඔහු නොව වෙනකෙකි. නමුදු ඇගේ කේදවාචකය ගැන කතා කරන්නට කිසිවෙකු නැත. එලි වූ විගස පව් සෝදාගැනීමෙන් පිරිමියා    ශුද්ධවන්තයෙකු වන්නේය. අවසන පිරිමියාගේ පාප කන්දටද සමාජය ඉදිරියේ දෝශ විදින්නේ ඇයම ය.


         රැය පහන් කරන්නට ඇගේ අතගත් පාපතරයා එලියේදී කුමාරයෙකි. අදුරට පමණක් ඔහු වැරදිකාරයෙකි. එලියේදී ඈ දුටු විට ඒ පාපතරයා ඔහුට අමතන්නේ පවා වේසිය යන ආගන්තුක ආමන්ත්‍රණයෙනි. සැබැවින්ම ඇගේ ලය කියවන්නට පිරිමියාට නොහැකිය. ලැමෙහි ආශ්වාදය පමණක් විදින ඔවුහු ඇගේ ලය කෙසේනම් කියවන්නද? ලොවක් ඉදිරියේ වැරදිකාරියක වන ඇගේ කතාවේ මුල් පිටුව ලියන්නේ පිරිමියෙකුමය. එහෙත් ඒ බව බාරගන්නට පිරිමි කැමති නැත.


         සැබවින්ම කාන්තාව වනාහි බලන්නේ පිරිමියෙකුගේ වර්තමානට සහ අනාගතය දෙසයි. එහෙත් පිරිමියෙකුට අවශ්‍ය වන්නේ ඇගේ පැටිකිරියයි. ඇගේ අතීතයයි. ලාංකේය සමාජය තුල මේ සංකල්පය මහා කකේදවාචකයකි.


        දහසක් "කුමාරවරු'යැ නම් පටබැදගන්නා සමහරු" ඇත්තෙන්ම කාලකන්නියෝ ය. වෛශ්‍යාවකව ඇගේ ලය කියවන්නටත් අසමත් පිරිමින් ඉදිරියේ ලයෙහි පහස දෙන සැබෑ කුමරියෝ මේ බව කියාගන්නට නොහැකිය අසරණව ලෝකයට හොරා ඉකි කසති.


        මේ වනාහි වෛශයාවක සාධාරණීකරණය කරනවානම් නොවේ. වෛශ්‍යාවක ගරහනවාට පෙර තමන්ගේ පව් කද ඇය වෙත බාර කරන කාලකන්නි පිරිමි ගැන කතා කල යුතුය. පෙම් සමයේ ඈ සුරගනියක මෙන්ම දැක ඒ පෙම් දම් ගිලිහුනු විට ඈම  වෛශ්‍යාවකට සම කරන කාලකන්නින් ගැන කතා කල යුතුය. පෙම් දියේ නාමයෙන් රාග දියට කිමිදවා රෑ සුරතලියක කරවන කාලකන්නින් ගැන කතා කල යුතුය. එසේත් නොමැතිනම් පිරිමියාට සාපේක්ෂව කාන්තාව ද ලිංගිකත්වය තුල සම විවෘත කල යුතුය.

ඒ හැර පිරිමින්ගේ පාප කදු කතුන්ට බාර කර නමට කුමාරවරු වීම පිරිමකම නොවේ...


     ලදුනේ... ලදුනේ....

     ඔබේ දෑස දැක ගත්තෙමි

     සැදෑ කලෙක ලදුනේ....................................


2018.09.02