Friday 23 June 2023

පරිසර දිනය අද නොවේ !

 ලෝක පරිසර දිනය අද නොවේ !




     සමහරක් විට ගස් ගල් වන්දනාමාන කල දුරාතීතයේ මීට වඩා මිනිස්සු ඒවා ගැන හිතුවා වෙන්නට ඇති. ජගත් පරිසර දින, ජගත් පැළ සිටුවීම් දින නොපැවතුනාට මේ තරම් පරිසර විනාශයක් එදා ඔවුහු සිදු නොකලා ඇති.


     ෆේස්බුක් වෝල් පුරවන ගස් සිටුවන සෙල්ෆි සහ  ගස් සිටුවීමේ රැලි හැරෙන්නට කන අයිස් පැකට්ටුව කුණු බක්කියක් සොයා එයට දමන්නට සිතන කොල්ලො කෙල්ලෝ අද ඉන්නේ අතලොස්සකි. අතේ ඇති ටොෆි කොලය මග නොදමා ගෙදර ගෙන යාම විහිළුවක් බව ඒත්තුගැන්වීමට තරම් ඔවුන්ගේ මනස සකස් වී ඇත. ඩිජිටල්කරණය වූ ඔලුගෙඩි තුල පරිසරය විදින්නට අවකාශය අඩු වීම යම් තාක් දුරට මේ තරම් පුද්ගලයා සහ ස්වභාමාතාව දුරස්ථ වීමට හේතුවක් වනවාත් ඇත.


     එක අතකින් ස්වභා සිරිය නොවිදපු, එහි අපූර්වත්වය ඇස නොගැටුනු මනසකට ඒ පිළිබඳ ඇල්මක් නොපැවතීම පුදුමයකුත් නොවේ. ජීවිතය හා බද්ධ නොවුණු ගසක් ගලක් රැකීමට හද පතුලෙන්ම අදහසක් නොඑන්නෝ එනිසා විය යුතුය.ප්‍රේම සම්බන්ධතාවක් බිද වැටුණු කල එය වෙනුවෙන් කාලාන්තරයක් හූල්ලන්නේ එය හද පතුලටම වැදී ඇති බැව්නි. ඒ බැඳීම් ස්වභා මාතාව කෙරෙහි පැවතියානම් මේ විනාශවන වනාන්තර , ගංගා ඇළ දොළ , සාගර , සතා සිව්පාවා දකින සිහිවන විට හූල්ලනවා නොව හෘද වස්තුව පවා හිරවීමට ඉඩ ඇත. ඒ තරම් අකරතැබ්බයක් ස්වභා මෑනියෝ අද අත්විදිති.


     අපගේ ස්වභා මවුන්ගේ ඇස් ඉස් මස් ක්ෂය වී ඇත. ලැම ඉරා දමා උගුල්ලා ඇත. අත් පා එල්ලී ඇත්තෝ හන්දිවල ඇති ශක්තිමත්භාවය නිසාමය. රෝම කූපයක්වත් ඉතිරිකර නැත. ලේ නහර සිඳී ගොස් ඇත. කොටින්ම ඈ පණ අදිනවා ය.


     ඇයට පෙම් කරන්නෝ අතලොස්සකට එය තදබලව දැනුනත් බොහෝ පිරිසකට ඒ ගැන වගෙන් වගක් නැත. අපිට වැරදී ඇත්තේ එතනයි., අපි අපේ මෑණියන්ට සමීප වී නැත .!


     මළගමක වුව හඩා වැලපෙන්නේ සමීපතමයෝ පමණි. අනිත් වුන්ට වගේ වගක් නැත. අපි අපේ මෑනියන්ට තවම සමීප වී නැත. ඈ පණ අදිද්දීත් ඇගේ ඇස් ඉස් මස් උරා බොන්නේ එහෙයිනි. එසේනම් අප කළ යුත්තේත් මෙයයි. අප අපේ මෑනියන්ට සවන් දිය යුතුය. ඇයට සමීප විය යුතුය. පුදසත්කාර කළ යුතුය. කොටින්ම ඈ ආදරයෙන් රැකබලා ගත යුතුය.


     අප මෙලොවට බිහි කලේ ඇයයි. ලේ කිරි කර පොවා ඇදි දැඩි කලේ ඇයයි. කන්නට බොන්නට දී ජීවත් කලේ ඇයයි. කොටින්ම මේ හුස්ම පොද අපට පොවන්නේ ද ඇයයි. එහෙත් අප ඇගෙන් ඈත් වූ කාරණය පුදුමාකාරයි. 


     "අමුතුවෙන් ගස් සිටුවා සන්දර්ශන කල යුතු නැත. ෆේස්බුක් ෆ්‍රොෆයිල පැළ අතින්ගත් සෙල්ෆිවලින් සැරසිය යුතු නැත. ඇයට සවන් දෙන්න. ඇයට සමීප වන්න. ඇයට ආදයට කරන්න. ස්වභා මාතාව අපට අසීමිතව ආදරය කරනවා ඇත."

9 comments: