Friday, 9 August 2024

රගමු රෑ තරු සේ - ආකාස ගංගාවේ

රගමු රෑ තරු සේ - ආකාස ගංගාවේ


 ජීවිතයේ ගතව යන්නේ දින, සති, මාස හෝ අවුරුදු නොවේ. ගතව යන්නේ පරිච්ඡේදයි. එක් පරිච්ඡේදයකින් තවත් පරිච්ඡේදයකට , ඒ පරිච්ඡේදයෙන් අනෙක් පරිච්ඡේදයට ජීවිත පිටු පෙරලෙයි. හිස් අතින් වුව ගෙවෙන සමහරක් පරිච්ඡේදවල සාක්කු හිස් වුවද, සැබෑවටම ඒවා හිස් පරිච්ඡේද නොවේ. චරිත, සිද්ධි, ගැටුම්, සංවාද, නිහැඩියා, විරාම පමණක් නොව වෙළද දැන්වීම් පවා අඩු නොමැතිව ඒවායේ පිරී ඇත. රිදුම්, සැනසුම්, හිමිවීම්, අහිමිවීම්, ගැරහුම්, පැසසුම් අඩු නැතිව පිරුණු තැන් තාත්විකවම සුවයත් පීඩාවත් සදයි. 


ඉතින්, මේ ගෙවෙන පිටු - ඔහේ පෙරලෙන පිටු නොවේ. මේ ගතව යන පරිච්ඡේද අනායාසයෙන්, අහේතුකව ලියවෙන ඒවා නොවේ. සෑම ගතවීමකම මහා කතාන්තරයක් ඇත. යටගිය , උඩ නොපෙනෙන රහස් කන්දක් ඇත. ඒවා නොපෙනෙන තරමටම පෙරලෙන පිටුවලත් ගතවෙන පරිච්ඡේදවලත් රසය එමටයි.


"රගමු රෑ තරු සේ - ආකාස ගංගාවේ"