අන්සතු ඔබ...
ප්‍රේමය වනාහි චිත්ත සන්තානයම වෙලා ගන්නා අරුම අත්දැකීමකි. බුදුන් වහන්සේ ම වරෙක ප්‍රකාශ කරන්නේ 'පුරුෂයෙක් ස්ත්‍රීයක කෙරේත්, ස්ත්‍රියක පුරුෂයෙකු කෙරේත් බැඳෙන බැඳුම තරම් තද බැඳීමක් ලොව තවත් නොමැති' බවයි. සැබැවින්ම එය සැබෑවකි. ප්‍රේමය නිසාම දිවි පුබුදුවා ගත්ත උන් සේම එනිසාම ජීවිතය අවුල් වියවුල් කරගත්තවුන් ද මිහිපිට අපි දකිමු.
ප්‍රේමයට වැටකොටු නැත. එයට සීමා මායිම් නොමැත. අන්ධ භක්තියෙන් අන්ධ භක්තිකයෙක් කිසිදු පැහැදීමක් හෝ හේතු ප්‍රත්‍යක් රහිතව ම තම දෙවියන් අදහන්නා සේ කිසිදු ආකාරයේ වැටහීමක් හෝ රහිතවම ප්‍රේමවන්තයෝ පෙමෙන් බැඳෙති. අවසානයේ එය කොහෙන් කොහොම කවදා කෙසේ වූවා ද යන්නවත් ඔවුන්ට වැටහීමක් නැත.
ආගමික,සංස්කෘතික පූර්වාදර්ශ හරහා යම් සමාජයක සම්මතයන් හෝ අසම්මතයක් ස්ථාපිත වෙයි. එකී සමාජය පොදුවේ සම්මතයන්ට ගරු කරන අතර අසම්මතය ප්‍රතික්ෂේප කරයි. ප්‍රේමය වැනි අත්දැකීමක් ද සමාජය තුළ පිළිගන්නේ හෝ බාරගනු ලබන්නේ එවැනි සම්මතය හා අසම්මතය සමග සම්බන්ධ වෙමිනි. පන්ති ප්‍රාන්තර, කුල මල භේද, වයස් පරතර, ස්ත්‍රී පුරුෂ වැනි ආංගික ලක්ෂණයන් අතර සම්මතයන් සහ අසම්මතයන් සමග ප්‍රේමය ගනුදෙනු කරයි.
ප්‍රේමය අසම්මත වූ විට එය සමාජ තලයෙන් ප්‍රතික්ෂේපීකරණය වෙයි. සමාජය ගරු කරන්නේ අසම්මතයට නොව සම්මතයටයි. නමුදු, ප්‍රේමයෙන් ආතුර වූවෙකුට ඒ කිසිදු සීමාවක් හෝ බාධාවක් බිදකදු තරම් නොවේ. ඒවා බිඳ දමා තමා ගේ සදාතනිකය අරුම අද්දැකීම පසුපස ලුහු බදියි.
"අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමක වෙලිලා
මගහැර යන්නට බැරි ලෙස බැඳිලා"
ප්‍රේමවන්තයාගේ සිට බැඳී තිබෙන්නේ අන්සතු වූවකුගේ හදවතක් කෙරෙහි ය. සමාජය විවාහ ලියවිල්ලකින් ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියකට ලියවා දෙයි. ඒ ලියවිල්ල ම ඇතැම් විට එක් ප්‍රේමවන්තයෙකුට සීමාවකි, බාධාවකි. එය බිඳ දමා ඉදිරියට යත්ම හේ අසම්මතයට කොටුවෙයි. සම්මතයන් පිටට පනියි. නමුදු ප්‍රේමවන්තයාට එය කිසිසේත්ම අදාල වන්නේ නැත. ඔහුගේ මුළු ලෝකයම පිරි ඇත්තේ එකී ප්‍රේමය නිසාම ය.
හිමි අහිමි බව හෝ නොදැන අන්සතු තැනැත්තියක බව හෝ නොසලකා ඔහු තුළ තිබුණු ස්නේහයේ මල් හේතුවක් නොමැතිව ඇය කෙරෙහි පුදයි. සැබැවින්ම ඔහුගේ අන්ධ දෙවියන් ඇයයි. ඇය කෙරෙහි උපන් ස්නේහ භක්තිය හිත තුළ දරයි. එය කොතරම් බලවත් ද යත් කොතරම් සම්මතවිග්‍රහ වුවත් ඔහුට එය අත්හැරිය හෝ මගහැරිය නොහැකිය. සමාජය නගන දෝෂාරෝපණය, ඔහුට අත් දකින්නට වන අමිහිරි අත්දැකීම්, මේ කිසිත් නොතකා ඇය සමඟ හද තුල අහස් මාළිගා තනයි. සමාජ අසම්මතයන් වීම හා සම්මතයන් පිටට යාම නිසා ඔහුට හිමිවන දඬුවම් ඇය කෙරෙහි ඇති ප්‍රේමය අභියස මේ මහා ප්‍රේමවන්තයාට කුඩා කුහුඹුවන් ය.
"සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී"
ප්‍රේම ලෝකය තුළ සැබැවින්ම දාර්ශනිකයෝ නොමැත. ළදරුවෙකු තරමටත් වඩා බාල ලඳ බොලඳ ප්‍ර්වෙමවන්තයෝ පෙම් ලොවෙහි පෙම් වදන් තෙපුලති. විටෙක ඇය කෙරෙහි ඇති ප්‍රේමය මෝදු වන්නේ එක් නෙතඟ බැල්මකිනි. එක්කෝ තෙපුලන පුංචි වදන් පෙලකිනි. තවත් විටෙක ඉතාම මෘදු සුරාන්තයට ගෙන යන ආදර සිප ගැනීමකි. මේ සියල්ල ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තියගේ සිත තුල අතරමං කරවයි. ඇයගේ මුවග සිනහව, නෙතග බැල්ම, මුදු වදන් නැවත නැවත ආයාචනා කරයි.
නමුදු මේ සියල්ල පවතින්නේ මනෝරාජික වූ ලෝකයකය. විටෙක ඔවුන්ට, ඔවුන් සම්මතයෙන් පිට අතරමන්ව හිමි නොවනා ප්‍රේමයක් අද්දර රැඳී සිටින බව හෝ නොපෙනෙයි. එය කෙමෙන් අවබෝධ කරගන්නවා වෙනුවට ප්‍රේමයේ අනන්තයට ඉගිලෙයි. නිදහසේ අහස තුළ නිදැල්ලේ සැරි සරන කුරුල්ලෙකු සේ සියල්ල හැර දමා ප්‍රේමයේ මංමාවත් වල ඔහේ ඉගිලෙයි. තව තවත් ඇය කෙරෙහි ඇලුම් වඩයි. ඇය හා බැදෙයි. නමුත් යථාර්ථය ලෝකයාට ඔවුන් සම්මතයෙන් පිට ජීවත් වන ප්‍රේමවන්තයින් බවයි. කෙදිනක හෝ මෙම යථාර්ථයට ඔවුන්ට මුහුණපෑමට සිදුවෙයි.
"ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ලඟ සැතපී මම සුව විඳිමි
වරදක් නොකරම වරදෙහි බැඳුනි
සිත සනසා ගෙන දුර හිඳ විඳිමි..."
ප්‍රේමවන්තයින්ට සම්මතයෙන් පිට ගිය විට සිදුවන්නේ සමාජ සංස්ථාවට හොර රහසේ තම ප්‍රේමණීය ප්‍රේම වෘත්තාන්තය කලඑළි ගැන්වීමටය. අවසානයේ ප්‍රේමවන්තයා තමාගේ මුළු ලෝකයම වූ ඇය ලෝකයාටම හොර රහසේ විඳ ගැනීමට සිදුවෙයි. සමහරවිට බාහිර සමාජයේ ඉදිරියේ ඔහුට ඇය හා එකම මාවතක දෑත් පටලා ගමන් කළ නොහැකිය. ප්‍රේමවන්තයින් දහසකුත් පෙම්බස් දොඩන දෑත් වෙලා පෙම් සුව විඳින ප්‍රේමණීය බංකු මත එකට වාඩි වී සිටිය නොහැක. ලොවට හඬ නගා 'ඈ මාගේ' යැ හදපිරි ස්නේහයෙ කෑ ගැසිය නොහැක. අඩුම තරමේ මිනිසුන් අතර ඇගේ නෙතු සොය සොයා ඒම විඳිමින් වචන දෙක තුනකුදු කතාබහ කළ නොහැක. ඔවුන් ඒ හැමදෙයම හැමදෙනාටම සැඟවිය යුතුව ඇත.
සැබැවින්ම ප්‍රේමය යනු කුමක්ද යන්න කිසිවෙකුටත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ප්‍රේමය තව තම තමාට අනුව ගලපා ගත යුතුය. අයෙකු ප්‍රේමයේ ගනුදෙනු කරන ආකාරය තවකෙකුට නොගැලපෙයි. තවකෙකු ඒ තුළ හැසිරෙන ආකාරය තවත් අයෙකුට හාත්පස වෙනස් වෙයි. තම තමාට අනුව තම තමා විසින්ම ප්‍රේමය නම් සංකල්පය චිත්ත සන්තානය තුළ පැලපදියම් කරගනී.
සැබවින්ම ප්‍රේමය වනාහි සංකල්පයකි. තම තමාට දැනෙන පමණින් තම තමාට හැඟෙන, වැටහෙන අයුරින් තම තමා ප්‍රේමණීය සංකල්පයක් "ආදරය" නමින් ගොඩනඟා ගනී. එය කිසිදු ලිඛිත හෝ වාචික භාෂාවකින් ප්‍රකාශනය කළ නොහැක. ඒ ප්‍රකාශ කළ හැක්කේ ප්‍රේමණීය මොහොතක බිහිවන ප්‍රේමයේ භාෂාවකින් ම පමණි.
විටෙක එය ආගන්තුක ය. තවත් විටෙක හුරුපුරුදු සහෘදයෙක්ය. දෙවියෙක්ය. මුනිවරයෙක්ය. වරෙක එය සේද මුදු සළුවකින් වෙලන ලද තියුණු මුවහත් අවියකි. මුළු ලෝකය ම තමා ඉදිරියෙහි ඇද වැටී තමා පමණක් ඉතිරිව ලෝක විනාශයක් හමුවේ ඇතිවන වේදනාකාරී හැඟීමකි. විරහවකි. වේදනාවකි. ශෘංගාරයකි. පරිත්‍යාගයකි. පටු ආත්මාර්ථයකි. ලෝභයෙන් මුසපත් වන ඊර්ෂ්‍යාවෙන් අන්ධ වෙන අසීරුත්ර අත්දැකීමකි. විටෙක හද පුදසුන් මත පුදන ස්නේහයේ පුෂ්පයකි. එය රළු වෙයි. මෘදු වෙයි. වේදනාකාරී වෙයි. නමුත් එය තරම් සුන්දර වූත් සුමිහිරි වූත් සෞම්‍ය වූත් සියල්ල අත්හැර දමා ඒ කෙරෙහිම දිවි තබන්නට හැකි වෙනත් කිසිදු හැඟීමක් වෙන නොවන්නේ ය. එතරම් එය ප්‍රබල ය. ශක්තිමත් ය.
ප්‍රේමයෙන් වෙලාගත් ප්‍රේමයෙන් සැනසුම් ලැබූ සිතකට කිසිවක් අදාල වන්නේ නැත. ඒ සියලු සීමා බාධා, වැටකොටු මායිම් අතහැර දමා පලා ගොස් ප්‍රේමණීය ලෝකයක තම කැදලි තනයි. තමා උන්මන්තකයකු වී පොලෝ තලයෙන් ගව් ගාණක් ඉහළ අහස් මාලිගාවක දිවිගෙවන බව අවබෝධ වූ තැනත් ලොවටම රහසේ සිහිනයෙන් හෝ ඇය හා දොඩමලු වීමට ආසක්ත කරයි. පොදු සමාජයට ඈතින් හෝ ඇයට නොදැනීම ඇය කෙරෙහි ප්‍රේමණීය වෙයි. දුරින් හිඳ එම ප්‍රේමණීය බව තනිවම විදියි. සැබැවින්ම ප්‍රේමයට සම්මතයන් කොහෙද ?
දැන දැන හිමිනොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමි.
Cover song by Mahesh Navarathane ft. Kanishka Rangana - Ansathu oba cover song